Posts

Showing posts from January, 2024

හේමපාල

Image
හේමපාලව ඇදන් වැටිලා ... වසර විසි තිස් ගාන නගිනා  කන්ද අද තව උස් වෙලා හදිසියේ දිව යටට රිංගන බෙහෙත් පෙත්තත් හැංගිලා  පාන් ගෙඩියට තනි රැක්ක ඒ ලූණු ගෙඩි ටික ඉහිරිලා ගුරු පාර ළග කන්ද පාමුල  හේමපාලව ඇදන් වැටිලා  සාගින්න නිවු කොස් බතල වල කොලෙස්ටරෝලුත් තියෙනවාද දෙවියන්ට අල්ලපු සුවද දුමටත් පෙණහැල්ලේ  දුම් බැදෙනවාද හාමතේ ඉන්නා තරමටම  ප්‍රෙශෙර් එක තව වැඩිත් වෙනවද මියැදිච්ච හිතකට ලේ අරන් ගිය  නහර  තව පිපිරුනේ කොහොමද  කුසුමා හැර ගිය දවසේ ඉදලම ඇස් දෙකත් ළිං පතුල වාගෙයි  ජීවිතේ බර තනිව ඇදලම කයත් දැන් දර ඉපල් ගානයි ඔපීසියේ ලොකු මහත්වරු ළග ඔලුව නැමෙනා වාර බොහොමයි ඉතින් නුඹ ඩිංගක් නොනැමුණේ ඇයි කන්ද මට නම් හරිම තරහයි.....

මං තාම තරුණයි...

Image
මං තාම තරුණයි... රෝස පවුඩර් කොලොන් වෙනුවට  මේ වගේ මේකප් තිබුනා නම් දරුවෝ මත්තෙම නැහී නොඉදින් ශොපින් යන්නත් තිබුනා එහෙනං  සෙනසුරාදට ඇලිස් එක්කලා ක්ලබින් යන්නත්  මට තිබුනා නම් ගෙට වෙලා බත් තම්බා නොඉදම ට්‍රැවල් කර ව්ලොග් හදලා එහෙනම්  අපේ උන්දැගේ මළ විකාරනේ ෆැශන් ටිකකුත් මම කළා නම්  ඉන්ස්ටා ෆ්බී මීඩියා වල  හොදට ෆේමස් දැන් එහෙමනම්  ඩිවෝස් වෙන්නයි තිබුණේ මට  පොඩි එවුන් ගැන නොහිතුවා නම්  ඉගි කරපු පීටර් එක්කම ලිවින් ටුගෙදර්ත්   ගිහින් එහෙනම් ...

මං නුඹේ කුමාරී ...

Image
මං නුඹේ කුමාරී  අග බිසවු ඔටුනු පැළැදී...  මුදු කසී සළු වෙනුවට ලාබම සේල් වතින් සැරසී මුතු රන් අබරණ ගලවා බැංකුවේ සේප්පුවට දන් දෙමී පාසැලට ඔපීසියට යන්නට දෝලාව මිළ වැඩී සිව් මැදුරු කව්ළුවෙන්  හවසට දුක් දොම්නස් පා කරමී... මං නුඹේ කුමාරී  අග බිසවු ඔටුනු පැළැදී ... මාසයක් ගෙවෙන දා බිල් කන්ද එක්ව ගෙවමී කඩ පිලේ ගොසින් හනිකේ රජ දරුවන් ගිනි නිවමී දැසි දැස් පිරිවර නැති මැදුරේ රස මසවුළු තනිවම  පිසමී රජතුමනි දුක් නොවන් නුඹ  සක්විති නොවුණාට  කම් නැතී... මං නුඹේ කුමාරී  අග බිසවු ඔටුනු පැළදී....

මවකගේ විලාපය ..

Image
මවකගේ විලාපය .... මා සතු සියලු වත්කම්  ද මගේ රුහිරු සහ දහදිය  ඇට මස් සමග මගේ කදුළු ද උදුරා ගනිල්ලා පාගා දමල්ලා... අන්තිම හුස්ම පොද වැටෙනා තුරු පණ නල ලොවට මුසු වන තුරු සංසාරේ සරනා දිනය  නිම වන තුරු  අත නොතබල්ලා මා දරුවනට... දරු දුකට  හෙලන මවකගේ විලාපය  ලෝකය දෙදරවා ගිනිකඳු පුපුරවා නුඹ බිහිරි කරනවා නියතයි... ඒ ලයේ ගිනි ලොව දවනවා සත්තයි ... (මව්වරුන්ගේ දිනය වෙනුවෙනි )

රක්ත වර්ණ කුසුමක් ...

Image
රක්ත වර්ණ කුසුමක් පිපුණාය ..... උණුසුම් රතු ලේ උරා ගත් රළු බොරලු පෑගී තැලුණු දිය බිදක් නොමැති මිහි මත පිපුණාය රක්ත වර්ණ කුසුමක්  කවුරුත්ම නොදකින උදයේ.... සුළගටත් මිනිස්කම නැති අහසටත් තෙත් බවක් නැති  සියොතුන් පවා ගොළු වුණු දැවී ගිය යුදබිම් සුසානයේ  හිස බිමට නොනමාය ඈ දිලුනේ .... රළු ලෙසින් හමා යන සුළගටත්  රෑ හොරෙන් හඩනා අහසටත් හීනෙනුත් ගැස්සෙන විහගුන්ටත්  උගන්වා ආදරයේ සුව  ලොවටත් පරවී ගියාය ඈ දිනක රහසේ....   සුමුදු පෙති අතර නොමැකුණ රතුම  රතු ලේ බිංදු පැල්ලම් මුරුගසන් වැස්සටත් නොමැකී කාශ්ඨක අව්වටත් නොදැවී කියා පෑවා  එබිම දිවි පිදූ  උන්ගේ  හිත් වල පිරුණු ආදරේ...

සුර ලොවින් මෙලොවට එපා ඉණිමන් බදින්නට ...

Image
සුරලොවින් මෙලොවට එපා ඉණිමන් බදින්නට ..... පත්තරේ දැක්කේ මං නුඹ දාපු විස්තරේ නොරටක ඉදන් නුඹ මාව  හොයන  ඒ කතන්දරේ.... බියෙන් ගැහෙනා හදින් ගත්තු ඒ පින්තූරේ  ඉන්නේ මං තමයි  හොවා ගෙන උඹ කරේ .... කැකුළු දා  වින කළ  රුදුරු වලසෙකු ට දාව කැකුලක්ව පිපෙන්නට ඉඩ දෙන්න හිතුනේ නෑ එදා මට.... වැලේ ගෙඩි වැලටම බරක් නොවුනත් කිසිදාක නිල මැසි ,බඹර වන මැද මමත් කැකුලකි එදා මග හොයන  සුරලොවින් මෙලොවට  එපා ඉණිමන් තනන්නට ගොහොරු මඩ විමානෙක උපන්  මතක අමතක කර ලන්න හැම රෑට  තුරුලට අරන් නුඹ  දුවේ කියලා හිස සිඹිමි මම   මහ සුළං  කෝඩ මැද සීරුවට  තනා ගත් කූඩුවක් රකිමි අද..... ශිරන්ති රන්පනාදෙණිය

ජීවිතය යදිමි...

Image
ජීවිතය යදිමි... කදුළු හංගා පපුව මැද්දේ  හිම මිදී ගල්ව  ලය පැලී හෙලූ සුසුමින් මහමෙරත් සෙලවුනා ලොව නොම දනී සිතා සිතුමට තවත් දේ නැති හිසම ගිනි ගෙන වියරු වී කියන් සකි සද නොදුටුවෙද නුඹ   මා මියෙන හැටි ගිලි ගිලී.... උල් වු කඩු තුඩු සදිසි වදනින් ගැරහුවේ මේ ලෝකයයි අකුණු සැරටත් වැඩි තරම් හෙලූ බැල්මින් අගුරු වෙයි මදෙස විසි කළ ගල් මුගුරු  වල තැලුම් ගේනා වේදනාවයි  මිනිසුනේ ඇවිදින් බලනු දැන් ඉතින් මට සමුදෙනු සොදයි....                                ශිරන්ති

කරුම කද...උරුම කළ ...

Image
කරුම කද උරුම කල...කෙළෙස නවතිනුද මම ... මතින් සිහි දුරස් කර  මව් කුසට  මා බරක් කළ පියෙක් ඇති කොහේ හෝ මට.... ලෝකයක නිගරු විද කුස සැහැල්ලු කර ගත් මවක් හිදින්නට ඇත  මට.... හිරු නැගෙන උදයේ සද නැගෙන අදුරේ ගැහෙන හදවත බරයි මට... එහෙත් නවතිනු කෙළෙස කරුම කද කර පින්නා ගත් ජීවිතයක් තියෙනවා  මට.....                                        ශිරන්ති

හදවතට දැන් බර ඇති ...

Image
හදවතට දැන් බර ඇතී...... හීන් හුළගක මුසු වෙවී මල් සුවද එද්දී නොයෙක් පැහැයෙන් දිලී හිරු හොරෙන් එබෙද්දී ඔහේ පාවී රිද්මයට නැළැවී මියුරු ගී රාවෙක රැදී දෙනෙත් පියවා විදිමි සුව  හදවතට දැන් බර ඇතී....                                             ශිරන්ති

නුඹට මවක වෙමි ...

Image
නුඹට මවක වෙමි... සසර  සරනා ගමනේ නුඹේ කුස මට දන් දී මෙලොව දකින්නට  දෙනෙත් තනාදී යහගුණ දම් පිරි දුවක ලොවට පුදදී අපමණ සෙනෙහෙන් මා දැඩි කළ මෑණී.... නුඹේ කිරෙන් පෙවූ මනුදමේ රසෙන්  දිවිය විදිමී මහමෙරක් සේ නොසැලෙනා දිරිය පසක් කරමී හිරු කිරණ සේ නොසිදෙනා කරුණාව බෙදමී සවි බිදී  මා අවැසි දා නුඹට මවක වන්නෙමී.... ශිරන්ති රන්පනාදෙණිය

මේ මතක විතරමද?

Image
මේ මතක විතරම ද....... සිහිල් සුළගත් හමා‍ යන හේමන්තයේ සැදෑවක ඔහේ නුඹ වාගෙම සැලුනු අකීකරු කෙහෙ රැළි ලතාවක නිමාවක්  නොවුණු නුඹේ  කිචි බිචිය අසා ගෙන අපිටත් හොරෙන් ගෙවුණු ඒ මතක මට විතරම ද.... දිය රැළිත් නගා සසලව බටිත්තන් පලා ගිය ඒ රිදී සිනා හඩ ඇසී බිම වැටුණු තුරු පත් ද නෝක්කාඩු වළාකුළු මැද හැංගිලා අමනාප උනු ඉරත් දැන් මූසලයි නුඹ නොමැති ලෝකේ තනිය මට විතරම ද නොකියාම යනවට වඩා මහ දුකක් මේ ගමන බිදෙන් බිද ඔබ මැලවි යනු දැකම ඉවසීම අදත් වැටෙනා වැස්ස සැර නැතත් පෙර සේම වළාකුළු වටේ ඇති ඒ රිදී ඉර ඔබද....                                                        ශිරන්ති

පාර අමතක දේව දූතයා මං ...

Image
පාර අමතක දේව දූතයා මං ... පාර අමතක දේව දූතයා මං මව්නි නුඹ මග  ඇහිරූ  අහස් කුස තරු ලකුණු නැති  ලෝකයේ  තනි වූ  මවක තුරුලේ උණුහුමේ  සරන්නට නොලැබූ නුඹේ පුතු ලෙස උපදින්න  තවම  පින් මද වූ.. විය සිදුරෙන් අහස බැලූ  බව සැබැවී පස් මහ බැලුම් නොබැලූ බව  නම් දනිමී ඇරයුමක් නැතිව නුඹේ කුස  පිළිපන් බැවිනී නුඹ මා වෙන් කළේ සිතකින්  දැයි සොයමී.... පියාපත් මට බර වැඩී උහුලන්න දැන් බැරි තරම් පුංචි පා පොඩි රිදුම් දෙයි ගල් බොරළු වැදිලා තදින්  සිනිදු අත්තටු හෙමින් පිරිමැද  ගී අහන්නට උණුසුමින් අම්මේ ආයෙත් එන්න ආසයි  අවසරද මට දැන්  ඉතින් ....

මළවුන්ගේ මාසේ....

Image
සුසානයේ ළග  මල් කඩේ.... මළවුන්ගේ  මාසයේ  අහස හරි දුක්බරයි සීතලට  කළු කබා  පොරව ගත්තා වගෙයි  කඩින් කඩ සීරුවට   වැහි කදුළු වට්ටවයි  හිනා කළදක් නැතිව  හාත්පස මූසලයි.. උණුහුමේ පොරෝනා තුළ  ගුලි වෙද්දි හැමෝම  මළවුන්ට මල් දෙන්න  එන කෙනෙක්  නැති හැඩයි මිලින වී යන්න පෙර  රත් පැහැති රෝස මල් පුදන්නම් නාදුනන  හිතවතුනි නුඹලාට කවදා කෙළෙස මෙලොව   හැර ගියාදැයි නොදැනම....😢😢

උසාවිය ළග මුණ ගැහෙන බිරිදට ලියමි

Image
උසාවිය ළග මුණ ගැහෙන බිරිඳ ට ලියමි... සුදු වතට නුඹ ඔය තරම්  හැඩ බව දැනුණේම නෑ මින් පෙර  දුටුව දින වල ආලේප නැති වෙහෙසකර වත මඩල වෙනදාට  වැඩිය සුන්දරයි හිතුනා  මෙමට පෙට්ටි කඩ පේලියේ ඉස්සරහ  ඉදගෙන කුස පිරෙන්නට නොවේ වදයෙන් මිදෙන්ට බනිසයක් කා තේ පොදක් ගිලින හැටි දුකින  දුටුවාම  සීතල මහිත පිච්චුනා මහ සැරට  නුඹේ නිසසල දැමුණු රුව ළග විරාගව බවුන් වඩනා මගේ හිත් මල චංචලව මොහොතකට ඇදුනාට බාදුරා මලකට නැතිවාද  මට මගක් ආපසු හැරෙන්නට  ආදරේ යහමින් පුරවලා දෙපැත්තට දුවපු තාම අල්මාරියේ යටම තට්ටුව පුරවාපු හසුන් පත් වල මහ බරට  කවි පේළි අමුණාපු ඔය හිතේ ආදරේ නැතුවාද මා නමට ඉතිරි වුනු....

කුමටද නිසල කයකට මරණ පරීක්ෂණ ...

Image
කුමටද නිසල කයකට  මරණ පරීක්ෂණ .... දෙතොල් පට පැලී ලේ බිදක සළකුණු  තෝඩු උදුරා ගනිද්දී ඉරුණු දෙකන් පෙති  දෙබැම ඉදිමී රතු වී මේස කොණ සාක්කි තැනින් තැන  නිල් පැහැ තැලුණු පැල්ලම් පෙනෙද්දී හරියටම නොපෙනෙන  බිදුණු ඉල ඇට වසර ගණනක් ගලා  වියළුණු කදුළු පොදි හුස්ම ඉල්ලා කෑ ගැසූ දුබල හදවත මෙතෙක් කල් ඈ පණ ඇති මරණයක්... කුමට  මෙහෙයුම් පරීක්ෂණ එක පෙළට දැන්වීම් සුදු කොඩි ශෝකාලාප පණිවිඩ  වැල නොකැඩි පිරිවර මියැදුණු කයට සත්කාර මිනිසුනේ නුඹ නොදන්නා මුත් මිය ගොසින් ඈ බොහෝ කල්....

හේමපාලව ඇදන් වැටිලා ...

හේමපාලව ඇදන් වැටිලා ...😢 වසර විසි තිස් ගාන නගිනා  කන්ද අද තව උස් වෙලා හදිසියේ දිව යටට රිංගන බෙහෙත් පෙත්තත් හැංගිලා  පාන් ගෙඩියට තනි රැක්ක ඒ ලූණු ගෙඩි ටික ඉහිරිලා ගුරු පාර ළග කන්ද පාමුල  හේමපාලව ඇදන් වැටිලා  සාගින්න නිවු කොස් බතල වල කොලෙස්ටරෝලුත් තියෙනවාද දෙවියන්ට අල්ලපු සුවද දුමටත් පෙණහැල්ලේ  දුම් බැදෙනවාද හාමතේ ඉන්නා තරමටම  ප්‍රෙශෙර් එක තව වැඩිත් වෙනවද මියැදිච්ච හිතකට ලේ අරන් ගිය  නහර  තව පිපිරුනේ කොහොමද  කුසුමා හැර ගිය දවසේ ඉදලම ඇස් දෙකත් ළිං පතුල වාගෙයි  ජීවිතේ බර තනිව ඇදලම කයත් දැන් දර ඉපල් ගානයි ඔපීසියේ ලොකු මහත්වරු ළග ඔලුව නැමෙනා වාර බොහොමයි ඉතින් නුඹ ඩිංගක් නොනැමුණේ ඇයි කන්ද මට නම් හරිම තරහයි.....

දුවේ නුඹටත් හිමී මට වගේ තාත්තෙක් ...

Image
දුවේ නුඹටත් හිමී  මට වගේ තාත්තෙක් .... වෙව්ලලා උණ තියෙද්දිත් තුරුළු කර සෙනෙහසින්  පුතේ බත් මුල ගත්තා ද  කීප සැරයක් මතුරමින් පාන්දර දොර ළගට දුවවිත්  කුඩේ අතටම සිහි කරන්  නළල  සිඹ සියලු  වස්දොස්  දුරු කෙරූ තාත්තෙක් දුවේ නුඹටත් හිමී මට වගේ තාත්තෙක්.... පිටින් ලද රස බොජුන කඩදාසි කොළයක ඔතන් අහස කළු කරන දා මහ පාර මුර කරන් පැටලිලා නුඹ වැටෙයි ලේස් ටික තද කරන් ජීවිතේ තුන් තිස් පැයේ අපි රැක්ක තාත්තෙක්  දුවේ නුඹටත් හිමී මට වගේ තාත්තෙක්... හෙලන හුස්මක් ගානේ සුන්දරම මතකයක් හඩන්නට ඇවැසි කල දුක අහන උරහිසක් රිදුම් පිරිමැද  හෙලන   සොදුරුතම සිනාවක් තාත්තෙක් කියන්නෙම දූට නිමක් නැති කතාවක් දුවේ නුඹටත් හිමී  මට වගේ තාත්තෙක් ....