පලංචිය නුඹ කන්න දීපූ...
පලංචිය නුඹ කන්න දීපූ...
පිරිමිකම ගැන දෝස තිය තිය
ගෙදර බුදුනුත් අහක බැලුවා
අතේ පටලන් පුංචි හාවිය
වගේ යන හැම තැනම රැක්කා
පාය ගෙන පුන්සද වගේ නුඹ
හතර අත දිස්නෙට බැබලුවා
අකුරු අහුලන් එන්න නොගිහින්
මං මුලා වැල් පෑගී තිබුනා
හිසේ සායම් ලාටු උලලා
උන්න කුමරෙක් චාටු දොඩලා
පුංචි පැටියෙක් කුසට එනකල්
ගිය ගමන් දුර ගිහින් තිබුනා
තවම කැකුළක් නුඹත් මට නම්
හීන ඔක්කොම කඩන් වැටුනා
වැහි වතුර තෙමු පලංචියේ මගේ
දෙපා අවසග වෙලා වැටුණා
මහගෙදර වාගේම හුරුපුරුදු
පලංචිය ඇස් පියන් නැගපූ
තැබූ අඩියක් ගානේ හදවත
මහා බර කද දරන් උන්නූ
ලොවේ තනි වෙන කැකුළු දෙකකට
ජාතකේ නම දෙන්න හිටපූ
දෙස් දෙවොල් මම දෙන්නේ කොහොමද
පලංචිය නුඹ කන්න දීපූ...
ශිරන්ති රන්පනාදෙණිය
Comments
Post a Comment