පන්සල

මතක පොතට....ගමේ පන්සල..........   කාර්යබහුලත්වයත්  එක්ක ලියන එකත් අමතක වෙන අවස්ථාවන් නැතුවා ම නෙවෙයි.ඒත් ඉඩක් ලැබුණු ගමන් මගේ මතක පොත ට අලුත් පිටුවක් එක් කරන්න යි මම උත්සාහ කරන්නේ. 
අපි පුංචි කාලේ දහම් පාසල් ගිය  සිල් සමාදන් වුණ ගමේ පන්සල මගේ ජීවිතේ අමතක නොවන තැනක්. අවුරුදු විසි පහකට ආසන්න කාලයකින් මම ඒ පන්සලට නොගිය නිසා මම තාමත් හිතින් දකින්නේ ඒ පරණ පන්සලමයි. ඒත් දැන් පන්සල භෞතිකව හුගාක් වෙනස් වෙලා ඇති..ඒත් සදධාව  කියන දේ ගැන  අංශු මාත්‍රයක් වත් නොදන්නා පුංචි කාලේ සංවර කම,සිල් වත් බව ,හැදියාව ,ආත්ම ගරුත්වය මේ වාගේ බොහෝමයක් වටිනාකම් පුංචි අපේ හිත් වලට ඇතුල් කරන්න අපගේ දෙමාපියන් ගුරුවරු න් වගේම පන්සල ත් සම සමව දායක වුණා. 
              පුංචි කාලේ දරුවෙකුගේ හිත ට යම්කිසි කෙනෙක් ගැන චරිතයක් ගැන ඇති වෙන හොද හෝ නරක ආකල්ප ඒ දරුවාගේ ජීවිතය පුරාවටම අරක් ගන්නවා කියන දේ මම ජීවිතේ බොහෝ තැන්වල දැක්ක දෙයක්. අදටත් මුලු මහත් භික්ෂූ සමාජය දෙසම නොසැලෙන ගෞරවයෙන් දකින්න මට පුළුවන් වුණේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිසයි. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සඟරුවනක්.තමන්ගේ චරිතයෙන් ම හැමෝටම ආදර්ශයක් වුණු උන්වහන්සේ ගැන පුංචි අපිට තිබුනේ ලොකු ගෞරවයක් වගේම අසීමිත බයක්. 
      ගමේ හැම ගෙදරක් ගැනම විස්තර  උන්වහන්සේ දැන ගෙන හිටියා. ලෙඩට දුකට හැම ප්‍රශ්නය කටම හැමෝටම එක වාගේ උන්වහන්සේ පිහිට වුණා. ඇති අය නැති අය කියලා කිසිම වෙනසක් දැක්වුයේ නෑ. දවස්වල පන්සලේ ලොකු හාමුදුරුවෝ එක්ක තවත් සාමණේර හිමි නමක් වැඩ හිටියා. ඒ  ඇරුනාම හිටියේ උදව්වට හිටපු ඇබිත්ත මාමා විතරයි.
දහම් පාසලේ ප්‍රධාන හිමි නම හැටියට උන්වහන්සේ දරුවන්ට දැඩි බවක් පෙන්නුවත් උන්වහන්සේ ගේ හිතේ තිබුනු මොළොක් ගතිය අද මට තේරෙනවා. ලොකු හාමුදුරුවෝ ගැන මට තියෙන අමතක නොවන සිදුවීම් අතරින් කිහිපයක් මම මතක පොතට එකතු කරන්නයි මේ සූදානම....
             සාමාන්‍යයෙන් හොද කාලගුණයක් තියෙද්දි දහම් පාසලේ පන්ති එළිමහනේ වැලි මිදුලේත් පැවැත්තුවා. නැත්නම් වහිනදාට බණ මඩුවේ,බුදු මැදුර ඇතුල් කොටසේ,ආවාස ගෙයි ආලින්දයේ පවා පන්ති පැවැත්තුවා..ඒ වගේ වැහි දවසක අපේ පන්තිය පැවැත්තුනේ ආවාස ගෙයි ආලින්දයේ..එතනම මිදුලේ හාමුදුරුවන් ගේ කාමරයේ ජනේලය අසලටම වෙන්න තිබුණු ජම්බු ගහේ රතට රතේ ගෙඩි පොකුරු ලෙල දෙනවා..එදා එතැන පන්ති දෙකක් තිබුණා..මේ දෙකේම ළමයින් ගේ ඇස් සැරින් සැරේ හොරෙන් හොරෙන් ජම්බු ගහ දිහාටමයි...කාමරයේ ඉඳන් ලොකු හාමුදුරුවෝ මේ ගැන බලා ගෙන ඉඳලයි තිබුණේ.විවේකය ආසන්න වෙද්දී පන්තියට වැඩි උන්වහන්සේ "සේරටම කලින් මුන්දැලට අර ජම්බු කඩලා දීලා හිටින්,නැත්නම් අද ඉගෙන ගැනිල්ලක් වෙන් නෑ මෙතන "කියලා ජම්බු ගහෙන් කඩලා දෙන වැඩේ ඇබිත්තයා ට පැවරුවා.ඉතින් විවේක කාලයේදි ජම්බු කාපු අපි බොහොම සතුටින් පාඩම් වැඩ කළා..පිටින් බොහොම දැඩි ගතිය පෙන්නුවත් උන්වහන්සේ දරුවන්ගේ පුංචි හිත් හරිම අගේට තේරුම් ගත්තා .බොහොම සරල දිවියක් ගත කළ උන්වහන්සේ දැන් සුගතිගාමී ව ඇති කියලායි මට නම් හිතෙන්නේ...ඕනෑම ප්‍රමාණයේ ගහක මුල ශක්තිමත් නම් චණ්ඩ සුළග නිසා ගහ ඉදිරෙන්නේ නෑ වගේ දරුවෙකුගේ ළමා කාලයේ දී දැමූ අඩිතාලම ශක්තිමත් නම් ජීවිතය පුරාවටම ඒ කෙනා ප්‍රතිපත්ති රකිනවා..මම හිතන්නේ එහෙමයි. ඒ නිසා වැඩිහිටියන් වන අප දරුවන්ට දෙන ආදර්ශ ,අවවාද වලට වඩා බොහෝ සෙයින් වටින බව අප හැම සිහියේ තබා ගත යුතුමයි.
            ශිරන්ති රන්පනාදෙණිය
              25/09/2019

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි