මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි... 
             මල්වානේ ආච්චී මගේ අම්මාගේ මවය. ඈ ජීවත් වූයේ ලංකාවේ රඹුටන් වලට ප්‍රසිද්ධ වූ මල්වානේ ගමේ බැවින් අයියලා පුංචි කාලේදී ආච්චිට මේ නම දී තිබේ. ඈ අපේ නිවසට පැමිණියේ ඉතා අඩුවෙන් බැවින් මට ඈ ගැන ඇත්තේ ඉතා සීමිත මතකයන් කිහිපයකි. සාම්ප්‍රදායික අත්තම්මා කෙනෙකුගෙන් හැඩ රුව සහිත ඈ රවුම්, කරුණාවන්ත මුහුණකින් යුතු වූ අතර කටේ ඉතා අඩු දත් ප්‍රමාණයක් වුවද සිරියාවන්ත හිනාවක් හිමි තළෙළු කාන්තාවක් වූවාය. හදිසියේ පටලවා ගත් වොයිල් ඔසරියකින් සැරසී පැමිණෙන ඈ විශේෂයෙන් පැමිණියේ රඹුටන් වාරයේදී බව මට මතකය. වේවැල් කූඩයක් පිරෙන්නට වියන ලද පොල් අතු ගොටුවක තද රතු පාට, කහ පාට, තැඹිලි පාට, ලා රතු පාට රඹුටන් ගෙඩි  අප සිත් සතුටින් පිරවූ හැටි නම් මට අද වගේ මතකය. ඉතා මිහිරි රසින් යූතු, ගහේ ඉදුණු, දතට අසුවෙන සැණින් මදය ගැලවෙන ඒ වාගේ රඹුටන් අද කාලේ සොයා ගැනීමට නොහැකි තරම්ය. අදටත් මට රඹුටන් දකින හැම විටම මල්වානේ ආච්චී ගේ රඹුටන් කූඩය සිහියට නැඟේ.
           මල්වානේ ආච්චිගේ ජීවිතය නම් ඒ වාගේ මිහිරි නැත. පුංචි කාලේ ඒවා ගැන දැනුමක් නැති වූ නමුත් පසු කාලයේදී තාත්තාගෙන් මට ඈ ගැන තරමක් විස්තර දැන ගත හැකි විය. අම්මා නම් ඇගේ මව ගැන කතා කළේ ඉතා අඩුවෙනි. නමුත් මට ආච්චි ගැන ලියන්නට සිතුණේ මෑතකදී මගේ මව හා මා අතර  සිදු වූ සංවාදයකින් පසුවය. ඒ ගැන ඔබට අවසානයේ විස්තර කරමි.
මල්වානේ ආච්චි මගේ සීයා හා විවාහ වී ඇත්තේ ඉතාම අඩු වයසින්ය. දැන් බලන විට ඔවුන් දෙදෙනාගේ පවුල් අතර සාමාජයීය හා ආර්ථික වශයෙන් ලොකු වෙනසක් වූ බව මට හැඟේ. මගේ සීයා එවකට ලංගම බස් රථ රියදුරකු ලෙස සේවය කරද්දී මුණ ගැසුණු මල්වානේ ආච්චි සමඟ විවාහ වී ඇත. සීයාගේ පරම්පරාව එකල සමාජයට අනුව තරමක වංශක්කාර අයවලුන්ය. වයසක කාලයේදී ත් ආච්චි තුළින් දිස් වූ සළකුණු සළකා බලද්දී ඈ තරුණ වියේදී ඉතා රූමත් වූ බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවේ.
        කෙසේ නමුත් මගේ අම්මා වැඩුමහල් දියණිය ලෙසද ඇයට බාල මල්ලී නොහොත් චූටි මාමා ද  පසු කලෙක පවුලට එක් විය. රියදුරෙකු ලෙස ලංකාව පුරා සේවයේ නියුතුව සිටිද්දී මගේ සීයා වෙනත් කාන්තාවක් හා පෙමින් බැඳී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අම්මාට එකොළොස් වියේදී නීතියෙන් දෙමාපියන් වෙන් වූ අතර එවකට නීති ප්‍රකාරව දියණිය පියාටත් පුතණුවන් මවටත් හිමි විය. ආච්චිගේ සහ සීයාගේ වෙන්වීම සිදුවූයේ මන්දැයි හෝ වරද කාගේදැයි නිශ්චය කිරීමට තරම් මා ජගතෙකු නොවන බැවින් එය එසේ සිදු වී ඇති බව පමණක් ලියමි. හැම දුවෙක්ම වාගේ බොහෝ දුරට මගේ අම්මා ද සීයාට වැඩියෙන් ලෙංගතු වූ නිසා සීයා පුංචි අම්මා සමග ඇරඹූ අළුත් ජීවිතයේ  ඈ ද සතුටින් කොටස් කාරියක් වූයේ ඉරණමේ හැටියටය. පසුව පුංචි අම්මාට දාව බිහි වූ නංගිලා මල්ලිලා හය දෙනෙකුට ලොකු අක්කා වූ ඇගේ ජීවිතය ගැන වෙනමම සිතන්නට මම ඔබට බාර කරමි. කිසිවක් නොලියමි. මන්ද මගේ කතාව මල්වානේ ආච්චී ගැන බැවිනි.
         සීයාගේ මේ සම්බන්ධය හා වෙන්වීම දරාගත නොහැකිව මල්වානේ ආච්චී දිනක් සිය දිවි තොර කර ගැනීමට සිතා ගමේ කනත්තට ගොස් ඇසිඩ් පානය කර තිබේ. එයින් ඇගේ ජීවිතය බේරුණු මුත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ ගලනාලයට ඉතා විශාල වශයෙන් හානි සිදුවී ඇත. ඉන්පසු ශල්‍ය කර්මයක් මගින් ගලනාලයට ඇතුළත් කරන ලද බටයක් වැනි ආධාරකයක් මගින් ඇගේ ආහාර  ගිලීමේ ක්‍රියාවලිය සිදු විය. අපගේ නිවසට පැමිණි අවස්ථාවලදී ආහාර ගන්නා විට විශාල වතුර ජෝග්ගුවක් ළඟ තබා ගෙන කඩින්කඩ නිතරම වතුර පානය කළේ ගිලීම පහසු කරවීමට බව මෙය දැන ගැනීමෙන් පසු මම අවබෝධ කර ගතිමි. මෙම සිද්ධිය දැනගත් පසු මට මල්වානේ ආච්චී ගැන විශාල කණගාටුවක් ඇති විය. විවාහ ය දෙදරා යාම නිසා හෝ ජීවිතයේ තවත් ඉදිරියට යාමට සහකරුවෙක් නොමැති වීම නිසා හෝ නැතිනම් තමා පෙම් කළ පුද්ගලයා ගේ හැර යාම නිසා හෝ සිය දිවි හානිකර ගැනීමට සිතන ගැහැණියකගේ තත්වයට එකල ඇයද පත් වී ඇත.
            මගේ තාත්තා අම්මා සමඟ විවාහ වීමෙන් පසු සීයාගේ ඉල්ලීම පරිදි සීයාගේ නිවසට යාබද ඉඩම මිළදී ගෙන එහි පදිංචි වී ඇත. මා මෙලොව එළිය දකින්නට වසර හය හතකට පෙර සීයා මෙලොවින් සමු ගෙන තිබේ. එබැවින් මා ඔහු දැක තිබෙන්නේ ඡායාරූපයකින් පමණකි. ඔහු ගැන තරමක අහිතක් දැනුණද කිසිම දිනක අම්මා කිසිවකු ගැන අගුණක් කතා නොකරන නිසා ඒ සිතිවිලි දුර නොයයි. චූටි මාමා තරමක සෙල්ලක්කාරයෙකි. ඔහුද සීයා මෙන් රියදුරු රැකියාව කළ අයෙකි. පස් වැනි දරුවා ලැබෙද්දී ඔහුගේ බිරිඳ මෙලොව හැර ගිය බැවින් මල්වානේ ආච්චී ඒ දරුවන්ටත් එතැන් පටන් මව් වීය. හනසු ලිපේ දමා ආවා මෙන් අපේ ගෙදරට ඉතා හදිසියේ ඈ ගොඩ වී ගියේ ඒ දරුවන්ගේ දුක නිවන්නටය. හදිසියේ පාසල් නිවාඩුවට චූටි මාමා ගේ බාල පුතා අපේ ගෙදර නවතා යන්නට එන ඇය ගෙන් කතන්දරයක් අසන්නට හෝ ළගට වී නිදා ගන්නට අපට ඉඩක් නොලැබුණේ ඒ එන දවසටද මාමාගේ පුතා ඇගේ තුරුල අත් නොහැරිය බැවිනි.
            එක්දහස් නවසිය අසූ හත වසරේ දිනයක මා උදෑසන අවදි වූයේ සුපුරුදු පරිදි අම්මාගේ රස කිරි කෝප්පය බලාපොරොත්තුවෙනි. මා මුළුතැන්ගෙයට යද්දී ඈ කේතලයට ගින්දර දමමින් සිටියාය. ඇගේ කම්මුල් මත මා කඳුළු දැක්කේ පළමු වතාවටය. ජීවිතයටම අම්මා කෑ ගසා හඬනු මා දැක ඇත්තේ දෙවතාවකි. බොහොම හෙමින් ගලා යන එක කඳුලක් හැර ඉතිරි කඳුළුත් දුකත් හිතේ ඇතුළක සඟවා ගැනීමට ඈ ඉතා දක්ෂය. "අම්මේ.... ඇයි? ඈ කිසිත් නොකියා දිග ගවුමේ වාටියෙන් දෙනෙත් පිස දමා ගත්තාය. ඇගේ අතේ ගුලි වූ ටෙලි ග්රෑමයේ "අම්මා අන්තරා වුණා. මීට මල්ලී...." යැයි ලියා තිබුණි. දහවල් වෙද්දී තාත්තා පැමිණි අතර අප පවුලේ සියළුම දෙනා මල්වානේ ආච්චීට අවසන් ගෞරව දැක්වීම සඳහා පිටත් වීමු." මාර්තා හාමි උපාසක මාතාවට නිවන් සැප ලැබේවා! "සුදු පැහැති බැනරයක කළු අකුරින් ලියා බස් රථයෙන් බහින තැනම හන්දියේ එල්ලා තිබුණි. ඒ මා ඇයගේ නම දැනගත් දිනයයි. පුංචි නිවසේ සාලයේ සුදු ඔසරියකින් සැරසී මල්වානේ ආච්චි සැතපී සිටියාය. දරුවන් දෙදෙනාට වඩා හඬා වැලපුනේ මුණුපුරන් පස් දෙනාය.අම්මා ඈට සුපුරුදු සන්සුන් කමින් වැඩ කටයුතු කළාය. ඊට කලකට පෙර සිය දිවි නසා ගැනීමට තැත් කළ ගමේ කනත්තේදීම මල්වානේ ආච්චි අවසන් ගමන් ගියාය.
            දුරකථනයෙන් අම්මා හා සංවාදයේ යෙදෙන විට අපේ ළමා කාලය, පාසැල් කාලය, උපන් ගමේ පැරණි තොරතුරු, නෑදෑයින්ගේ විස්තර, එදිනෙදා කටයුතු ගැන අල්ලාප සල්ලාපයේ යෙදීමට මම ප්‍රිය කරමි. නමුත් අම්මාගේ හිත ශෝකයට පත් කරන දේ ඉතා පරෙස්සමෙන් මඟ හරිමි.ඒ මන්ද මගේ අම්මා වයසත් සමග ජීවිතය හා පොර බැඳ තෙහෙට්ටු වී සිටින බව දන්නා බැවිනි." අම්මේ... මේ පාර තාත්තාගේ පින්කමට අපි මොනවද කරන්නේ?"... මම ඇසුවෙමි. "මේ කරදරත් එක්ක මොනවත් කරන්න අමාරුයිනේ. ඔයාට පුළුවන් නම් රේඩියෝ එකේ හරි ටෙලිවිෂන් එකේ හරි බණක් කියවමු. කරන්න පුළුවන් හොඳම පින්කමත් ඒකනේ ".... අම්මා කීවාය. අනේ!..... පුතේ මතක් කරලා මගේ අම්මටයි තාත්තටයිත් පින් දෙන්න ඕන. ඔයා දන්නවා නේද එයාලගේ නම්?..." අර අතීතයේ මා දුටු සුදු පාට බැනරය මට සිහි විය. "ඒකාලේ මල්වානේ ආච්චිත් මල්ලිගේ දරුවන් පස් දෙනා එක්ක හැප්පුණ.... . මමත් ඔයාලා පස් දෙනා එක්කනේ. මට නිතර ආච්චි බලන්න යන්න උනේ නෑ. මුදල් කීයක් හරි යැව්වා විතරයි. පස්සේ කාලෙත් දානයක් මිසක් වෙන පින්කම් කරන්න ඉඩක් තිබුණේ නැහැනේ. පන්සලකට ගියාම නම් මං පින් දෙනවා."....මට මා දන්නා කාලයේ සිට අම්මාගේ ජීවිතය සිහි විය. අම්මාට අම්මා ගැනවත් සිතන්නට වෙලාවක් තිබුණා යැයි මම නොසිතමි. "හොඳයි අම්මෙ ....අපි එහෙම කරමු.... "මීට අවුරුදු පනස් එකකට කළින් සහ අවුරුදු තිස් හතරකට පෙර පරලෝ සැපත් දෙමාපියන්ට පිං පෙත් දීමට සැරසෙන දියණිය ගැන මට ඉතා අනුකම්පාවක් ඇති විය. මල්වානේ ආච්චීට සහ නොදුටු සීයාට නිවන් සුව ලැබේවා!!! 

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල