සීවලී හාමුදුරුවෝ..


       ඉස්සර අපි පුංචි කාලේ අපේ ගෙදර පාන් පෙට්ටිය තුනපහ පෙට්ටිය කියලා පෙට්ටි දෙකක් තිබුණා. පාන් ගෙනාපුවාම දාලා තිබ්බ ඒ පෙට්ටියේ උඩ පියන හදලා තිබුණේ පාන් කපන්න පුළුවන් වෙන විදියටයි. තුනපහ පෙට්ටියේ තිබුණේ වැඩිපුර තිබුණ කෑම වර්ගයි. පරිප්පු, සැමන් ටින්, සීනි මුලක්, පාන් පිටි, මුංඇට, ටින් කිරි ටින් එකක්, පපඩම් මේ පෙට්ටියේ වැරදුනේ නෑ. ඒකාලේ අපේ ගෙවල් වල ශීතකරණ තිබුණෙත් නෑ නේ. අනිත් එක අද වාගේ කළින් දුරකථන ඇමතුම් දීලා ගෙවල් වලට අමුත්තන් එන්නේ නෑ නේ. අපේ ගෙදර ප්‍රධාන මාර්ගයක් අසළ තිබූ නිසා දුර ගමන් යන නෑදෑ හිතමිත්‍රාදීන් අපේ ගෙදරත් හදිසියේ ගොඩ වදින අවස්ථා එමට තිබුණා. අම්මයි තාත්තයි ත් ඉතින් ආගන්තුක සත්කාරය ට සැදී පැහැදී හිටපු දෙන්නෙක් නිසා මේ තුනපහ පෙට්ටිය ඒ වගේ වෙලාවට හරි ප්‍රයෝජනවත් උනා.ඒ කාලේ තාත්තා රැකියාව කරපු නිසා අඩු පාඩු තිබුණෙත් නෑ.
           ඒත් ඉතින් අටලෝ දහම කරකැවෙන්නේ අපිට ඕනෙ විදියට නෙවෙයි නේ. තුනපහ පෙට්ටියට අමතර දෙයක් දාන්න තියා එදිනෙදා ජීවිතය ගෙවා ගන්නේ කොහොමද කියලා හිතන්න වත් බැරි කාලයක් අපේ ගෙදරටත් උදා වුණා. තාත්තා රැකියාවෙන් විශ්‍රාම ගිය නිසාත් කරදඬු උස් මහත් වෙච්ච සහෝදරයින් ට ගෙදර ගැන වගේ වගක් නැතිව ගිය නිසාත් ඉතාමත් දුෂ්කර කාල සීමාවක් පසු කරමින් අපි සිටියේ. තුනපහ පෙට්ටියත් පාන් පෙට්ටිය ත් දිරලා ලිපටම දැවුණා.
     මෙන්න මේ විදියට ආර්ථිකය බිංදුවටම වැටිලා තිබ්බ වෙලාවක තමයි මේ සිදුවීම උනේ. ගෙදර තිබුණු කරදරත් එක්ක මම පාසැල පැත්තේ වත් නොගිය නිසා විභාගයක් ගැන තොරතුරු අරගෙන ගෙවල් හොයාගන මගේ මිතුරියක් එයාගේ තාත්තා එක්ක අපේ ගෙදර ආවා. එනකොට දවල් එකොළහ හමාරට දොළහට විතර ඇති. කොයිම විදියකින් වත් නොසළකා යවන්න බැරි අවස්ථාවක්. අම්මයි තාත්තයි කතා කරලා "කෑම ටිකක් කාලම යමු" කියලා මගේ මිතුරියට කිව්වා. කාලෙකින් මුණ ගැසුණු නිසා ඇයත් එකඟ වුණා. මම හිටියේ හීන් දාඩිය දාලා.
       පාසැලේ ඉතා නිදහසේ විනෝදයෙන් හිටපු මම මේ කරදර වැඩිය කාටවත් කියලා තිබුණේ නැහැ. සමහර විට තරුණ වයස නිසා ඇති වන ලැජ්ජාවට වෙන්න ඇති. ගෙදර තේකොළ සීනි ටිකක් වත් නැතුව කෑම කාලා යන්න ඉන්න කියලා අම්මයි තාත්තයි කියපු එක ගැන මම බයෙන් හිටියේ. කඩෙන් ආයෙත් කිසිම දෙයක් ඉල්ලන්න බැරි තරමට ණය පොත පිරිලා කියලත් මම දැනගෙන හිටියා." ඔයා යාළුවත් එක්ක කතා කර කර ඉන්නකෝ" කියලා අම්මා කුස්සියට ගියා. හොඳට පිරුණු වීදුරු දෙකකට කුරුම්බා වතුර ලොඳත් එක්ක දාලා ඒ දෙන්නට සංග්‍රහ කරලා තාත්තා මිතුරියගේ පියා එක්ක සතුටු සාමීචියේ යෙදෙන ගමන් කුස්සිය පැත්තටත් ගියා. එක විඩේක කිරි අල පඳුරක් ගලවාගෙන යනවා මම දැක්කා. කුස්සිය පැත්තෙන් පොල් බිඳින, ගාන හඬ වල් සැරින් සැරේ ඇහුණා. පැය එක හමාරක් විතර යනකොට" එහෙම නම් කෑම ටිකක් කාලා ඉමු" තාත්තා කිව්වා. කෑම මේසයට යද්දී බත් එක්ක වෑංජන කිහිපයක් ම මේසේ උඩ. මට හිතාගන්න බැහැ. කළින් දවසේ අල්ලපු ගෙදරින් හම්බ උන කැකුළු හාල් බතට කිරි අල වෑංජනයක්, ගෙදර පිටිපස්සෙ ගහේ අඹ මාලුවක්, පොළොස් මැල්ලුමක් සහ තිබ්බටු කොච්චි, කොච්චි දලු තෙල් දැමුමක්  කපපු ඉදුණු ගස්ලබු ගෙඩියක් ඒ අතර තිබුණා. තුනපහ හරියට නොතිබුණු නිසා ඉදුණු මිරිස් කරල් ගලේ අඹරලා පොල් හිඟ නිසා කළටි පොල් වලින් මැල්ලුම හදලා තිබුණට කෑම පුදුම රසක්. හොඳ වෙලාවට මගේ මිතුරියගේ පවුලේ අය නිර්මාංශයි. එයාලා හරිම සතුටින් කෑම කාලා හරියට අගේ කළා. එයාලා ගියාට පස්සේ මම ඇහුවා "කොහොමද අම්මේ මොකුත් නැතිව මෙච්චර ඉක්මනට කෑම සූදානම් කළේ? "කියලා. එතකොට තාත්තා කිව්වා "ඔයාලගේ අම්මා සීවලී හාමුදුරුවො වගේ. ඉන්න තැනක කෑමෙන් බීමෙන් අඩුවක් නෑ දන් දුන්න පින තමයි" කියලා. දානෙකට වැඩම කරලා ආපහු වඩිනකොට සාගින්දරේ හිටපු බැල්ලියක දැකලා වමනය කරලා සීවලී හාමුදුරුවො ඒ බැල්ලගේ කුසගිනි නිවූ පිනෙන් උන්වහන්සේ ට දානයෙන් කිසිම මොහොතක අඩු පාඩු නොවු බවත් හාමුදුරුවන් වහන්සේ ලා බොහෝ නමක් දානවලට වඩිද්දී" සීවලීත් වඩින්න "යැයි බුදුන් වහන්සේ ආරාධනා කළ බවත් තාත්තා අපට කුඩා කල පටන් කියාදී තීබුණේ. ඒ කතාව මොන තරම් නම් සත්‍ය දැයි මට නිතර සිතේ. අම්මා තාත්තා ඇතුලු හත් දෙනෙකු වූ අප පවුලේ බත් මුට්ටි ය හිස් නොවූ තරම් ය. අයියලාට දෙපාර කන්න ටත් හදිසියේ හැන්දැවට බඩගින්නක් ඇති වූ විට කන්නටත් ඒ මුට්ටියේ බත් තිබුණි.
       අද හදිසියේ පැයකින් කෑම සූදානම් කර මේසයට යවන විට "අම්මා මාරයිනේ අම්මෙ... කොහොම ද මෙච්චර ඉක්මනට හැදුවේ" ? මගේ දරුවන් අසන විට මට අම්මා සිහිවේ. ගෑස් ලිපේ සියළු අඩුමකුඩුම ළඟ තබාගෙන පැයකින් ඉවීම ගැන මට ආඩම්බර විය නොහැක. මන්ද මගේ අම්මා ඒ වික්‍රමයන් කළේ දර ලිපක ඉතාමත් සීමිත අමුද්‍රව්‍ය අතැතිව ය. මා මගේ අම්මා ගැන ලීවේ මා ඈ ගැන දන්නා නිසාය. එහෙත් ඔබගේ මව ඇතුළු ලෝකයේ බොහෝ අම්මලා සීවලී හාමුදුරුවන්ගේ ගුණය දරා උපන්නෝය. එවන් වූ උතුම් මව් වරුන්ට මේ සටහන උපහාරයක් ම වේවා!!!
                

Comments

Popular posts from this blog

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි