යකාගේ කතාවක් ...
යකාගේ කතාවක්
එරන්දි විජිතගේ පුංචි අම්මාගේ දුව. පොඩි කාලේ ඉඳන්ම ගෙවල් එක ළඟ හින්දා ද කොහෙද එක කුස උපන් සහෝදරයන් ගාණට බැඳීම. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ විජිත එහෙදි මුණ ගැහුණු ප්‍රියංකා එක්ක ආදරයෙන් වෙලිලා දෙන්න විවාහ වෙලා කොළඹ ආසන්නයේ පදිංචියට ගියා. මඟුල් දා අයියා නගෝ බදා ගෙන ගොඩක් වෙලා ඇඬුවා. එරන්දි හරිම නිදහස් විනෝදයට බර චරිතයක්. "හරි.. හරි දැන් ඇඬුවා ඇති. මාසෙකට දෙතුන් පාරක් මම එහේ විසිට් එකක් දාන්නම්කෝ". ඇය කිව්වෙ විජිතවත් හිනස්සන ගමන්. කිව්වා වාගේම දෙල් ගෙඩියක්, රඹුටන් ටිකක්, නෙළුම් අල ටිකක් අරගෙන අලුත් ජෝඩුව බලන්න ඈ කොළඹ ආවා ගියා. ප්‍රියංකාත් මේ අයියා නඟාලගේ බැඳීම ගැන දන්නා නිසා ආදරෙන් නෑනව පිළි ගත්තා. ඔය අතර ටික ටික එරන්දි ගේ පැමිණීම අඩු වුණා. හන්දියේ පොත් කඩේක සේවය කරපු ඇය රැකියාවට යන්නෙත් කලාතුරකින්ලු. "යකෙක් වැහිලා පුතේ.. පව්.... මගේ කෙල්ල අනං මනං දොඩෝනවා". පුංචි අම්මා කිව්වේ හැඬූ කඳුළින්.
"තොවිලෙකුත් කෙරුවා නූල් මැතිරුවා. කෝ.... මේ ගුණයක් නෑනේ."
" අලුත් සමාජයේ ඕවා කරලා හරියන්නේ නෑ පුංචි අම්මේ ...ඕවට දැන් බෙහෙත් තියෙනවා ... හොඳ මානසික වයිද්යවරයෙකුට පෙන්නමු" විජිත කිව්වා. මිතුරෙකුගේ දැන හැඳුනුම් කම මත ප්‍රධාන පෙළේ වයිද්යවරයෙකුට එරන්දිව යොමු කළා. "මේක මේ මානසික ආතතිය නිසා හැදුන තත්වයක්. ...මාස කීපයක් බෙහෙත් ගද්දි ඇරිලා යයි". එතුමා කිව්වේ එහෙම. මාස හත අටකට ආසන්න කාලයක් එරන්දි බෙහෙත් බිව්වා. අහන අහන වෙලාවට නිදි. "මේ බෙහෙත් වලට ඔලුව කෙළින් තියාගෙන ඉන්න බෑ අයියේ....බෙහෙත් බොන්නේ නෑ දැන් මම"එරන්දි කිව්වා . ටික දවසක නිවාඩුවක් ලැබුණු නිසා විජිත ප්‍රියංකා එක්ක ගමේ ගියා. එරන්දිව දැක්කම විජිතට ගොඩක් දුක හිතුනා. කෙල්ල ඇදිලා ගිහින්. ඇස් යට කළු වෙලා. හැම තිස්සෙම පැත්තකට වෙලා ඔහේ ඉන්නවා. හිනා කතා නෑ ඉස්සර වගේ.
" මේ මොන කරුමයක්ද අයියේ.. ඉස්පිරිතාලෙ ළඟින් යන්න බෑ. කොටහළු ගෙදරකට, අලුත උපන් ළමයි ඉන්න ගෙදරක යන්න නෑ, මරණ ගෙදරකට යන්න නෑ. කොයි කාලේ කාට කරපු අපරාධයක් ද මේ මට පටිසන් දෙන්නේ? බෙල්ල කරකවා විකාර දොඩෝනවලු බෙර සද්දයක් ඇහුන ගමන්..... පරණ නෑයෙක් ලු.... බලන්නකෝ අයියේ මට උන අපරාදේ.." එරන්දි අඬා වැටුණා.".ඕවට විසඳුම් තියෙනවා විජිත. ...අපේ මාමා ඔයිට වැඩිය යක්කු ආංබාන් කරලා තියෙනවා. දවසක එහේ එක්කගෙන වරෙන්.. "විජිතගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරෙක් ගේ කතාවෙන් විජිත ට දැනුණේ ලොකු සැනසීමක්. "දැන් ඕවා කීයක් කළාද අයියේ.... බොරු වැඩ. මට නම් එපා වෙලා ඒත් අයියා කියන නිසා එතැනටත් ගිහින් බලමුකෝ...." එරන්දි කිව්වේ කළකිරීමෙන්.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඇතුළට වෙන්න තියෙන කුඩා ගමක වල් වැදී ගිය විශාල ඉඩමක කාලෙකින් පිරියම් නොකරපු පාළු පාට ගෙයක් ඉදිරියේ වාහනය නවත්තපු ගමන් එරන්දි වෙනස් වුණා. ඇවිද්දේ ගාට ගාටා. හැසිරීමත් වයසක මනුස්සයෙක් වගේ. විජිතගේ යාළුවගේ මාමා තව ආවතේව කරුවන් දෙන්නෙක් එක්ක සුදු සරම් කමිස ඇඳගෙන සූදානම් වෙලා හිටියේ.මාමා විජිතගේ කණට කරලා මොනවද කියලා ගේ පිටුපසට ගියා. විජිතයි ප්‍රියංකායි ඉස්තෝප්පුවේ පුටු වල ඉඳ ගත්තේ එරන්දිව මැදි කරගෙන. එරන්දි වටපිට බලමින් මොනවාදෝ තොල් මැතිරුවා. නහය හකුලවමින් මොනවාදෝ ඉව ඇල්ලුවා. ගේ ඇතුළතින් ආව වයසක කාන්තාව රෙදි හැට්ට යක් ඇඳලා හැරමිටියකට වාරු දෙමින් තමයි ආවේ. ඒ අර මාමගේ අම්මා. එරන්දිගේ අමුතු හැසිරීම දැකපු ගමන් ඈ" අනේ.. මේ මහත්තයාගේ සහෝදරීද?.... කියලා ඇහුවා. "කාගේ උනත් දරුවෙක්නේ .."කියලා නිකටේ අත තියා ගත්තා..
එරන්දි වයසක කාන්තාව දිහා බලලා ඔරවන කොට ගේ ඇතුළින් ආවේ ඒ පාළු ගෙදරට කොහෙත්ම නොගැලපෙන විදියේ අවුරුදු පනස් පහක විතර කාන්තාවක්. දිගු බතික් ගවුමකින් සැරසිලා උපැස් යුවලක් පැළඳ හිටපු ඒ කාන්තාව කොළඹ හතේ නිවසක නෝනා කෙනෙක් වාගෙයි. ඒ මූසල පාළු ගෙදර ඒ වගේ කෙනෙක් ඉන්නවාද කියලා හිතා ගන්නත් බෑ. එරන්දි ඇය දිහා බලලා අනුකම්පා සහගත ලෙස හිනා වුණා. "මේ නාකි ගෑණි ඒ කාලේ දහ අට වන්නමම නටලා දැන් එනවා පත්තිනි අම්මා වෙන්න.." එරන්දි වයසක කාන්තාවට ගෝරනාඩු කළා. "නංගී කට වහගන්න මොනවද මේ කියන්නේ?"... විජිත ඈව නවත්වන්න උත්සාහ කළා. විජිතගේ දෙසට හැරී දබරැඟිල්ල ලෙලවූ එරන්දි "මේ උඹ කට වහගෙන උඹේ වැඩක් බලා ගනින්.... කිව්වේ මහා රෞද්ර විලාශයෙන්.
නිවසේ උළුවස්ස උඩට වෙන්න එල්ලා තිබූ කළු සුදු ඡායාරූපයක සිටි පිරිමියා දෙසට නෙත් යොමු කළ එරන්දි" ඔය ඉන්නේ උඹේ මිනිහා නේද? ....කරන්න තියෙන අසමජ්ජාති වැඩ සේරම කරලා එක එකාට කොඩි විණ කරලා ඒවා ආපහු ඇවිත් පවුල් පිටින් සුන්නත්දූලි වුණා නේද?.... බලපල්ලකෝ උඹලා මේ ඉන්නේ අමු සොහොනක නේද? .....යක්ෂාවේශයෙන් කෑ ගැහුවා. "ඒ ඔක්කොම පව් මේ අහිංසක ගෑණිගේ පුතාගේ පිටින් ගියා නේද? පව්..... ඒකා අඩු ආයුෂකාරයා....." බතික් ගවුම හැඳ සිටි කාන්තාව ඇස් ලොකු කරගෙන බලන් හිටියා එරන්දි දිහා". ආ.. අනිත් එකා පිළිකන්නේ පුළුටු බදින්නේ මාව කොටු කරන්න වෙන්න ඇති. මං අහුවෙයි උගේ කරවල කෑල්ලට....." එරන්දි උපහාසයට හිනා වුණා. වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව විජිතයි ප්‍රියංකායි බය බිරන්ත වෙලා හිටියේ.
වත්තේ ටිකක් එහාට වෙන්න තිබුණ පොඩි දේවාලේ පැත්තෙන් බෙර සද්දෙ ඇහෙන්න පටන් ගත්තා විතරයි එරන්දි බෙල්ල වන වනා තාලයට එහෙත් හරිම අපහසුවෙන් ඒ දිහාට ගියා. ඈ කෑගැහුව. හූ හඬ දුන්නා. විලාප දුන්නා. සුදු සරම් කමිස ඇඳන් හිටපු යකැදුරා සහ ආවතේව කරුවන් දෙදෙනා දුම් කබල් අරන් එහේ මෙහේ දිව්වා.. බලන් ඉන්න අපහසු වුණත් විජිත ඒ ළඟට වෙලාම හිටියා. එරන්දි විඳින වේදනාව එදා තමයි ඔහු හරියටම දැක්කේ. අවසානයේදී "හරි ....හරි..... මම යන්නම් ...."කියලා එරන්දි සිහිසුන්ව ඇද වැටුණා. මුහුණට වතුර ටිකක් එහෙම ඉහලා සිහිය ආවට පස්සේ එයාව ප්‍රියංකා එක්ක තියලා විජිත මාමා එක්ක කතා කළා. "ඔය ගියාට තාවකාලිකයි මහත්තයෝ.... ආයේ එනවා..... ටිකක් ලොකු පූජාවක් කරලා තමයි හරියටම යවන්න වෙන්නේ... හැබැයි ඉතින් ඒකට ටිකක් බර ගානක් යයි..." මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරිව විජිතත් අසරණ වෙලා හිටියේ." ඔය වගේ පූජා කොච්චර නම් කළාද? "ඔහුට එරන්දිගේ කතාව මතක් උනා.
තේ බන්දේසියක් අරන් ආපු බතික් ගවුම ඇඳපු කාන්තාව විජිතව පැත්තට අරන් ගිහින් කතාවට වැටුණා. "මහත්තයගේ නංගී කියපු කතා සේරම ඇත්ත. අපේ මහත්තයාගේ තාත්තා හිටපු හොඳ යකැදුරෙක්. එයා කරපුවා ආපහු කපලලු අපට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කාලේ මාව අරන් ඇවිත් තියෙන්නේත් බඩට මොනවද දීලලු. අපි හොඳට හිටපු මිනිස්සු. පේනවනේ අද වැටිලා තියෙන තත්වේ? කාර් සේල් පවා තිබුණා. අන්තිමේදී මාමණ්ඩිය හෙණයක් වැදිලා මළා. මගේ මහත්තයා මැරිලා ඉඳලා හොයා ගත්තේ කනත්තක් ළඟ. මගේ එකම පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා මහත්තයෝ අවුරුදු විස්සකුත් නෑ එතකොට. මේ වයසක උන්දැ අතෑරලා දාලා යන්න බැරි නිසා මමත් ඉන්නවා. අපේ ගෙවල් වලිනුත් මා එක්ක ඇයි හොඳයියක් නෑ". ඈ කිව්වේ ඇස් වලට කඳුළු පුරෝගෙන. "අයියේ අපි යමුද?...." කිසිම දෙයක් නොවුණ ගාණට එරන්දි ඇවිත් හිනා වෙවී කිව්වා. ඒත් ඇවිත් බොහෝ දවසක් යනකම්ම බෙර සද්දෙයි දුම් කබලේ සුවඳයි එරන්දිගේ හූ හඩයි විජිතට නම් අමතක කරන්න බැරි වුණා.
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.)
Comments
Post a Comment