දොළ දුක
අම්මලාගේ දොළ දුක ....
"දොළ දුක" කියන වචනේ ඇහුනු ගමන් ලොකු ලුණු කැටයක් එක්ක දත් හිරි වැටෙන හොදට පැහුණු අඹ ගෙඩියක් හෝ කෙසෙල් කොළයක් තවලා ඔතපු සුවද,...රස බත් මුලක් තමයි සිහියට එන්නේ.ඒ වචනය කළින් අහලා තිබුණත් ඒකේ අර්ථය මං හරියටම දැන ගත්තේ මීට අවුරුදු විසි අටකට පෙර සිදු වුණු සිද්ධියක් නිසයි.මං විදේශ ගත ජීවිතය අරඹපු අළුතම වාගේ අපේ හිතවත් ලාංකික සහෝදරයෙක් නිවාඩුවට ලංකාවට ගිහින් ආවා.ඒ කාලේ දැන් වගේ හැම එලවලුවක්ම හැම දෙයක්ම මේ රටවල මිල දී ගන්න තිබුණේ නෑ.ඉතින් ලංකාවට ගිහින් එන අය සූට්කේස් පුරවලා උයපු කෑම ගෙනාවා .විශේෂයෙන් කල් තියා ගන්න පුලුවන් දේවල් .මාළු ඇඹුල් තියල් ,බටු මෝජු ,අච්චාරු වර්ග ,ලුණු දෙහි ,සීනි සම්බෝල ,බැදුම් වර්ග ,කරවල මේ ආදී වශයෙන් .ඒ අයියා අලුත්ම අලුත් මැටි ඇතිලියක් පත්තර කොළ වල රෙදි වල ඔතලා පරෙස්සෙමට ගෙනත් තිබුනා .එතන හිටපු තරමක වැඩිහිටි කාන්තාවක්" අපරාදේ ඕක පදම් කරලා ගේන්න තිබුණේ "කියලා කිව්වා ."නෑ අක්කේ මේක දරුවෙක් ලැබෙන්න ඉන්න නංගී කෙනෙකුට .එයාට මේ සුවද බලන්න ආසයි කියලා මේ ගෙනාවේ" කියලා මේ අය්යා සිනාසෙමින් කිව්වා.ටික වෙලාවකින් මේ කියපු ගැබිණි අම්මත් ඒ නිවසට ආවා ඇයට ගෙනා පාර්සලය රැගෙන යන්න .කොයිතරම් රස සුවද පිරුණු කෑම වර්ග තිබුණත් ඇය ඒ කිසිම දෙයක් රස නොබලා අර මැටි ඇතිලියත් අරගෙන කාමරයට ගියා .අපි කාන්තාවන් කිහිප දෙනෙකුත් ඇයගේ පසුපසින් ඇදුනේ මේ විස්මය දැක බලා ගන්නමයි.ඇය බොහොම ආසාවෙන් ඒ නැවුම් ඇතිලියේ සුවද ආඝ්‍රාණය කළේ ගොඩ කාලයක් කුසගින්නේ හිටි කෙනෙකුට රස ආහාරයක් ලැබුනා වගේ පෙරේතකමකින්.ඒක මට අලුත්ම අත්දැකීමක් උනා.
ඉන් පස්සේ වරින්වර නොයෙක් කාන්තාවන් ගේ විවිධ දොළදුක් ගැන මට අහන්න දකින්න ලැබුණා.කිසිම සබන් වර්ගයක් නොමැතිව ඇද ඇතිරිලි හෝදලා නිදියාපු(සබන් සුවද අපුල නිසා)
බිත්ති හූරලා ඒ සුවද ආඝ්‍රාණය කරපු ඔය වගේ වෙනස් ඒවා වගේම පළතුරු අවාරේ තද සීත කාලේ ගහෙන්ම කඩලා පෲන්‍ය( prugne) කියන පළතුර කන්න හිතුණු,උසම උස කදු මුදුනක හිම කන්න ආසා උනු ඔය වගේ රස කතන්දරත් අහන්න ලැබුණා .
මම හතු කන්න හරිම ආසයි.උයලා,තෙල් දාලා ,බැදලා ඔය මොන විදියටත් කනවා.මං ලැබෙන්න ඉද්දි අම්මට දොළ දුක ආවේ හතු කන්න කියලා කිරි අම්මයි තාත්තයි කියනවා මම අහලා තියෙනවා .අම්මා ඒ ගැන කියලා දවසක් දෙකක් යන්නත් කළින් වත්තේ කෙළවරක තිබුණු නාන ළිඳ ලග උණ පදුරු යට දිගටම බිම් හතු හැදුණු බවත් අම්මා කුල්ලකට බිම්හතු නෙලා ගෙන ඇවිත් ඇති පදම් අනුභව කළ බවත් ඔවුන් කිව්වා .
අපේ නංගී පුංචි කාලේ මස් කන්න හරිම ප්‍රියයි".මට ඕනේ මසක් "..ඒ කාලේ ඈ කියන්නේ එහෙම .(දැන් නම් නිර්මාංශයි)
නංගී ලැබෙන්නට ඉන්න කාලේ අම්මට දොළදුක් ආවේ මුව මස් කන්නලු.තාත්තා කොයි තරම් උත්සාහ කළත් ඒවා සොයා ගන්න පුලුවන් වෙලා නෑ.ඒත් දවසක් මඩකලපුවේ කඩේක රෑ කෑමට නතර කළ වෙලාවේ මුව මස් කරි තියෙනවා දැකලා වීදුරු බෝතලයක් හොයා ගෙන මිරිසට ඉවූ මස් කරිය කොළඹට එලවළු ගෙනියන ලොරියක මාර්ගයෙන් අම්මට ලැබෙන්නට සලස්වපු කතාව තාත්තා හරිම උජාරුවෙන් කියනවා මට මතකයි.
කොයි තරම් රස ගුණ කෑම බීම ලැබුණත් අප්‍රිය වෙන ඒ කාලෙට දොළ දුක දැනෙන කෑම නම් ඕනෑ තරම් කන්න පුලුවන් .චූටි දුව ලැබෙන්නට හිටිය කාලේ මම හොද හයිය ඔලිව් ගෙඩි මහ ගොඩක් කෑවා.ස්ට්‍රෝබෙරි කෑවා.මගේ සහෝදරියක් මැටි ඇතිලි පිටින් පොළොස් උයලා,කරවල තෙල් දාලා රස කෑම ගොඩක් ගෙනාවත් කටක් වත් කන්න බැරි උනා.
සමහර වෙලාවට දරුවෝ ලැබෙන්න ඉන්න කාලෙට අපිට හිතෙන සමහර දේවල් අපේ ආසාවල් නොවන බව මම තේරුම් ගත්තා .චූටි දුව ලැබෙන්න ඉන්න කාලේ මට කවදාවත් නැති විදියට විවිධ වර්ණ වල නිය ආලේපන ගල්වන්න හිතුනා .සුවද විලවුන් පාවිච්චි කරන්න හිතුණා .ඒ වගේම චූටි දුව ඒවාට හරිම ආසයි.
චූටි පුතා ලැබෙන්න ඉද්දී කෙසෙල් ගෙඩි හරියට කෑවා.මම සාමාන්‍යයෙන් කෙසෙල් කන්න කැමති නෑ.ඒත් පුතා ආසයි .ඉතින් අම්මලා හරහා ඒ දැනුම් දෙන්නේ එයාලගේ ආශාවල් කියන එකයි මගේ හැගීම.
කවදාවත් මස් නොකාපු නැන්දා කෙනෙක් එයාගේ සැමියාට කියලා කුකුල් මස් වෑංජන හදන් හිත පිරෙන්න කෑවා මට මතකයි.ඉතින් මේ දොළ දුක් ගැන කතාව කියවන ඔබත් ඔබේ,පවුලේ කෙනෙකුගේ හෝ මිතුරියකගේ හෝ අසා තිබෙන දොළදුක් ගැන යටින් ලියන්න පුලුවන් නම් මම කැමතියි තව දැන ගන්න .
ශිරන්ති
Comments
Post a Comment