තල කැරලි බිස්නස්... අපි හරි වාසනාවන්ත දරුවෝ කියලා කාලය ගත වෙන්න වෙන්න මට දැනෙනවා.දුක් කරදර ,බාදා හැමදාම අපිව අත නොහැර පස්සෙන් ආවට පින්වත් දෙමාපියන් ට දාව ඉපදුණු එකම මොන තරම් වාසනාවක්ද?ජීවිතේ වැටෙන හැම තැනකදිම අපේ අම්මා අපි හය දෙනාව උර පත්තේ තියා ගෙන ගොඩ පීනුවා.හය දෙනා කිව්වේ තාත්තත් එක්ක .ජීවිතේ සමහර තැන් වල ආපු සුළි සුළං වලදි තාත්තා පවා මානසිකව සහ ශාරීරිකව අබලන් උණා.මට අදටත් හිතා ගන්න බෑ ශරීරයෙන් බොහොම කුඩා අම්මාට ඒ තරම් ශක්තියක් කොහොමද ආවේ කියලා .අගහිගකම් විතරක් නෙවෙයි නින්දා අපහාස වලදී පවා තාත්තා දුර්වල වෙද්දි ඒවා නෑසුණු කන්ව අම්මා ජීවිතේ එක්ක හැප්පුනා. දරුවෝ පස් දෙනෙක් එක්ක එක වැටුපකින් ජීවත් වෙද්දි අද තරම් පහසුකම් නැතිව උනත් අමාරුකම් දැනුනු නිසා වෙන්න ඇති අපේ අම්මා නිතරම අමතර දේවල් කලා මුදලක් හම්බ කරන්න .මම ජීවත් වෙන මේ රටවල් වලටත් දැන් ලංකාවෙන් හැමදේම එනවා.ටිකක් ප්‍රමාණයෙන් විශාල තල කැරලි පැකට්ටුවක් දැකලා මගේ හිත ඈත අතීතයට ගියා. තාත්තා විශ්‍රාම ගිහින් බත් කඩේ පටන් ගන්න කළින් ඉදන්ම අම්මා කඩේට දාන්න කෑම වර්ග හැදුවා .බත් පැකට්, මසල වඩේ,බුලත් විටි ඔය වගේ .ඊට අමතරව වනිතා සංගමයකින් ආධාර අරගෙන පොඩි ෆාම් එකක් කරලා කිකිළි බිත්තරත් වික්කා.හැබැයි අපි හැමෝම එකතු වෙලා සතුටින් කරපු ව්‍යාපාරය තමයි තල කැරලි බිස්නස් එක. මම තමයි ඒ කාලේ අම්මා එක්ක නගරයට ගියේ අවශ්‍ය කළමනා ගේන්න .ඒ ගමන් වලට අම්මා මාව එකතු කර ගන්නේ කෙදිරි නොගා ඕනෑ තරම් අව්වේ පයින් එන නිසා සහ පොඩි අය්යයි නංගීයි එක්කාන ගියාම සැරෙන් සැරේට එයාලගේ බඩගින්නයි තිබහයි සංසිදවන්න වෙන නිසයි.ඉස්සර හැමදේම ගමේ කඩවල් වල තිබුණේ නෑ.අමතර දේවල් ගන්න ළඟ තිබුනු අපේ ගමට වඩා ටිකක් දියුණු ගමකට ගියා.ඉස්කෝලේ පටන් ගන්න කළින් නිල ඇදුම් සපත්තු ගන්න, සිංහල අවුරුදු කාලේට ඇදුම් ගන්න ඒ හැම දේකටම ගියේ මේ ගමට තමයි . අම්මා කඩ කීපයකටම යනවා හොද සුදු තල හොයන්න .ඒ කාලේ හාල් උනත් අද වගේ සෝදලා ගල් ඇරලා නෑනේ .ඉතින් ගොඩක් කලු තල මිශ්‍ර එක තමයි තියෙන්නේ .ඉන්පස්සේ හොද හකුරු ,තෙල් කඩදාසි, සුදු සව් කොල මේ හැම දෙයක්ම අරගෙන තමයි අපි ආපසු එන්නේ . ඒ තල ගරලා හෝදලා වේලලා තමයි දින කීපයකට පස්සේ තල කැරලි හදන්න පටන් ගන්නේ .ඒ කාලේ අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් තිබුණේ නෑ.රාත්‍රී ආහාර ගත්තට පස්සේ අම්මා තල කොටන්න පටන් ගන්නවා .අම්මා ගහන මෝල් ගස් පාරට තල ඇට හකුරු එක්ක කලවම් වෙලා උඩ යට යද්දි බලන් ඉන්න ආසයි .ඊට පස්සේ තියෙන්නේ තල ගුලි හදන වැඩේ.අම්මා බේසමකට දාලා ගන්න කොටපු තල ශත පනහේ ,විසි පහේ ප්‍රමාණ දෙකකට හදපු එස්ලෝන් බට කෑලි වලින් හිරට තද කරලා හැදෙන තල ගුලි ලස්සනට පිගානකට තියන්නේ අම්මයි තාත්තයි.අපිට තියෙන්නේ සව් කොළ ඔතන රාජකාරිය.පොඩි අයියා තමයි කොල කපන්නේ.නංගීයි මමයි ඒවා තෙල් කඩදාසි කෑලි වල ඔතලා සව් කොළේ ඔතන්නේ.රෑ වෙද්දි තල කැරලි ටික උදේට තාත්තට ගෙනියන්න ලෑස්තියි.අම්මා චූටි පීරිසි වලට දාලා අපිටත් කොටපු තල ටික ටික දෙනවා.මුල් කාලේ ආසාවෙන් කෑවට මොකද පස්සේ නම් එපා වුණා.ඒ කාලේ අපේ උපන් දිනයක් ආවම ඉස්කෝලේ ගෙනිච්චේ තල කැරලි .තාත්තා කැන්ටිමට ගෙනියන ඒවා ඉතිරි උනාම කොටසක් ආයේ ගේනවා .ඉතින් තේ බොද්දිත් කනවා .පුංචි කාලේ හින්දා හවස යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යද්දී ත් තල කැරලි අරගෙන යන්නේ .හදන කොටත් කනවා ..ඒ ව්‍යාපාරයත් කාලයත් එක්ක තාත්තා විශ්‍රාම ගියාම නැති වෙලා ගියා.ඒත් අදටත් මට තල කැරලි කන්න ලොකු ආසාවක් නෑ.කොයි තරම් නම් තල කෑවාද කියනවානම් මම අවුරුදු ගණනාවක් යනකම් තල කැරලි කෑවේ නෑ.අද කාලේ සමහර තරුණ කාන්තාවන් අත පාද්දි, නැත්නම් නැති බැරිකම් නිතරම කිය කියා ගෙවල් වලට වෙලා ඔහේ කාලය ගත කරද්දී තව සමහරු දරුවෝ වෙනුවෙන් මොන තරම් නම් කරදර එක්ක සටන් කරනවද?ඒ දිරිමත් අම්මා තාත්තලා නිසා තමයි මේ ලෝකේ තාමත් ඉස්සරහට යන්නේ කියලයි මට නම් හිතෙන්නේ .

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි