තාත්තගේ වෙස්සන්තර දානේ
තාත්තගේ වෙස්සන්තර දානය
මම පුංචි කාලේ ඉඳලා ලියන්න ආසයි. මම ලියන කියන දේවල් අනිත් අයගේ හිතේ මැවෙන්නේ කොහොමද කියලා දැන ගන්න මම ආසයි. මගේ තාත්තා ඉස්සර අපිවත් ළඟ තියා ගෙන තාත්තාගේ පොඩි කාලේ ගැන ජීවිතේ ලබපු අත්දැකීම් ගැන කතා කියනවා. ඒවා හරිම රසවත්. දැන් දෙමාපියන් ඒ වගේ කරනවද කියලා මම දන්නේ නෑ. ටික දෙනෙක් කරනවා ඇති. මම හුඟක් වෙලාවට හැම දෙයක් දිහාම බලන්නේ හරිම උනන්දුවකින්. ඒ හින්දාමද මන්ද මට ගොඩක් දේවල් ගැන හොඳ මතකයක් තියෙනවා. ළමා කාලය සහ ජීවිතේ විශේෂ අවස්ථා හුඟක් මට මතකයි. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ඒ වගේ මට අවුරුදු නවයක් විතර කාලෙදි වෙච්ච අමතක නොවන සිදුවීමක්.
අපි පුංචි කාලේ හැම මාසෙම හතර වෙනිදා අපේ පේරු දානේ. තාත්තාගේ අම්මා ගාල්ලේ ආච්චි නැති වුණ දවස් තමයි ඒ. සීයලා දෙන්නා සහ පසු කලෙක වියෝ වුණ අනිත් ආච්චි සහ වර්ග පරම්පරාවේ පරලෝ සැපත් නෑයින්ට පින් අනුමෝදන් කරන්න තමයි ඒ මාසික දානය දුන්නේ. එදාට අපිට විශේෂයි. අම්මා සිකුරාදා පොළෙන් හරි කඩපොළෙන් හරි ගිහින් අවශ්‍ය අඩුම කුඩුම ටික ගේනවා. ඉස්සර අපේ ගෙවල් වල ෆ්රයිඩ් රයිස්, කට්ලට්, ඩෙවල් වර්ග හැදුවේ නැහැ. මගේ දෙමාපියන් ගැමියන් හින්දා වෙන්න ඇති. ඉතින් දානෙට කියලා විශේෂයෙන් ගලේ තුනපහ අඹරලා හදන මාළු ඇඹුල් තියල, පොළොස් පැහි, අඹ ව්‍යාංජනයක්, කිරිකොස් තෙම්පරාදුවක්, කට්ට කරවල හොද්දක්, කොළ මැල්ලුමක් ඔය වගේ ගමේ ගොඩේ කෑම තමයි එකතු වුණේ. අම්මා හුඟක් පේ වෙලා තමයි ඒ කටයුතු කළේ. අදටත් දානයක් දෙද්දී මමත් අම්මා වාගේම සැරයි. හාමුදුරුවෝ දානේ වළඳලා ඒ කටයුතු හැම දෙයක්ම ඉවර වෙනකම් මම දරුවන්ට රස බලන්න වත් දෙන්නේ නෑ. එතකොට එයාලා මගෙන් අහනවා අම්මලා පුංචි කාලේ එහෙම කාලා නැද්ද කියලා. නෑ.. කොයිතරම් පුංචි උනත් කොයිතරම් බඩගිනි වුණත් අපිට දානේ ඉවර වෙනකම් ඉන්න වෙනවා. මම එයාලට කියනවා .
ඉතින් ඔන්න එදත් අම්මා පාන්දර ඉඳන් වැඩ පටන් ගත්තා. කොළ ටිකක් අහුලලා දෙනවා, රතු ළූණු ටිකක් සුද්ද කරලා දෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ අපිට ඒ කාලේ. ඒකත් නිවාඩු දවසක් උනොත් විතරයි. එදා තාත්තාත් ගෙදර හිටියා. දර ටික පලලා ලිප ළඟට ළං කරලා, ළිඳෙන් වතුර ගෙනත් කුස්සියේ කළ වලට පුරවලා, පොල් ලෙලි ගහලා, පිහි ටික මුවහත් කරලා දීලා තාත්තා වෙනදා වගේම එයාගේ සහයෝගය දුන්නා. අම්මා හන්දියේ මාළු කඩේ මුදලාලිට කියලා ලොකු ඉස්සෝ වගයක් ගෙන්න ගෙන හදලා තිබුණා. කජු වාරේ හින්ද කජු මාළුවක් සහ පොළොස් මැල්ලුමක් පමණක් තිබුණු කෑම වලින් මට මතක. තව ව්‍යාංජන තිබුණා. අතුරුපසට ගෙදර ඉදුණු ගස්ලබු ගෙඩියක් සහ ඇඹුල් කෙසෙල් ඇවරියක් වෙන් කරලයි තිබුණේ. මූණ කට හෝදලා පන්සල් යන්න සූදානම් වෙලා දානේ බාස්කට් අරගෙන අම්මයි මමයි නංගියි පොඩි අයියායි පිටත් වුණා. පන්සලට ගෙදර ඉඳන් කිලෝමීටර් එක හමාරක් දෙකක් විතර ඇති. ගිහින් දානේ පූජා කරලා වන්දනා මාන කරලා එන්න සෑහෙන වෙලාවක් යන නිසා අයියයි නංගී දානේ බෙදුවට පස්සේ මොනවා හරි ටිකක් කන්න සෑහෙන්න උත්සාහ කළා. මේවා ඔයාලට තමයි. බුද්ධ පූජාව තියලා හාමුදුරුවෝ වළඳන කම් කාටවත් කන්න බෑ. අම්මා තිර හඬින් කිව්වා.
පාසැලේ නිවාඩු කාලේ හරි සති අන්තයේ හරි දානේ දවස් වැටුණොත් අපිත් අම්මා එක්ක පන්සල් ගියා.ගිහින් පන්සලේ දාන ශාලාවට දානය බාර දුන්නම ඇබිත්ත මාමා බුද්ධ පූජාව සූදානම් කරලා දෙනවා.පස්සේ බුදු ගෙට හාමුදුරුවෝ වැඩලා දානේ පූජා කරලා වැඳලා පින් දීලා පිරිත් සජ්ජායනා කරලා අපි ගෙදර පිටත් එන්න පිටත් වුනා. සැර අව්ව මද්දහන් වෙලාවනේ. නංගී අයියයි කෙඳිරි ගෑවා. බඩගිනියිලු තිබහයිලු දාඩියයිලු. ගෙදර ආපු ගමන් කන්න බලාගෙනයි අපි ආවේ. ඇවිත් කෑම කාමරයට ගිය ගමන් දැකපු දෙයින් අපේ ඇස් උඩ ගියා. බත් මුට්ටියේ ඉඳන් ඇතිලි භාජන සේරම දරණු පිටින් කෑම මේසේ උඩ. ඔක්කොම හිස්. නංගී අඬන්න වගේ. තාත්තා කිසි වෙනසක් නැතිව ඒවා එකින් එක ගෙනිහින් හෝදනවා.
කව්ද තාත්තේ මේ කෑම සේරම ඉවර කළේ? පොඩි අයියා ඇහුවා. රස කෑම වේලක් කන්න පැය ගානක් බලන් ඉඳලා බලාපොරොත්තු සුන් වෙලා එයත් ටිකක් තරහින් හිටියේ. "ගං වතුරකට අහුවෙලා අසරණ වෙච්ච පවුලක් ආවා. වයසක උන්දැ කෙනෙකුත් හිටියා ආච්චි වගේ. පොඩි එව්වොත් හිටියා. මට දුක හිතුනා පුතේ. ඔයාලා එයාලට වඩා හොඳට කනවා බොනවනේ. ඒ අය දවස් ගණනකින් හරියට කෑමක් කාලා නෑ. මේවා අස්පස් කරලා යන්නයි හැදුවේ. එහෙම කළා නම් දුන්න දෙයින් වැඩක් නැතිව යනවා. මං එපා කිව්වා. ඔයාලා ඇඟ පත හෝදගෙන එන්න. අම්මා ඉක්මනින් මොනවා හරි හදලා දෙයි"
. තාත්තාගේ දාන පාරමිතාව හොඳින් දන්නා අම්මා සාරිය මාරු කරගෙන ආයෙත් මුළුතැන්ගෙයට ගියා. අපි ඇඟ හෝදගෙන එද්දි අම්මගේ රසම රස කිරි නැති පරිප්පු තෙම්පරාදුවත් කරවල බැදුමකුත් ගලේ ඇඹරූ ගිනි රතු පොල් සම්බෝලය සමග පපඩම් මේසේ උඩ තිබුණා. අම්මයි තාත්තයි සතුටින් අපි කෑම කන දිහා බලාගෙන හිටියා. ඒ කාලේ ඒ ගැන වැඩි තේරුමක් නැති උනාට තාත්තාගේ නිර්ලෝභී හිත ගැන මට ආඩම්බරයි. තාත්තාටම ගැළපෙන අපේ අම්මා. හැම වෙලාවෙම හිතන්නේ කාට හරි මොනවද දෙන්න පුළුවන් කියලා. අදටත් හොඳ සාරියක් ඔරලෝසුවක් අත් බෑගයක් ගෙනිහින් දුන්නම මේක අහවලාට හොඳයි පුතේ එයා කන්තෝරු යනවනේ. මේක..... අක්කට දෙන්න පුතේ එයාලා තරුණයිනේ.අම්මේ..කට්ටියට බෙදුවට කමක් නැහැ. මම ගේන ඒවයින් ටොෆී ටිකක් චොක්ලට් එකක් බිස්කට් එකක් අම්මටත් තියා ගන්න හොඳේ. මං අම්මට කියනවා. අම්මලා තාත්තලා කියන්නේම වෙස්සන්තර දාන පාරමිතාව පුරන්න මේ ලෝකෙට ආපු අය. මගේ රත්තරන් තාත්තාට නිවන් මඟ දුර නොවේවා!
Comments
Post a Comment