මම තාමත් ආසයි අම්මේ..

මම තාමත් ආසයි අම්මේ...
        රෑට කට්ටියම එකතු වෙලා රූපවාහිනිය නරඹන කොට චූටි දුව ගිහින් ඇඳේ තාත්තයි මල්ලියි අතර පල්ලෙහා චූටි ඉඩකඩේ ගුලි වෙනවා. චූටි පුතා හෙමින් හෙමින් අක්කව කකුලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. එයා එහෙම කරන්නේ අක්කව කේන්ති ගස්සන්න.එතකොට මමයි සැමියයි පුතාට කෑ ගහලා ඒක නවත්තනවා. මේක දැකලා මට මං පුංචිම කාලේ මතක් වුනා. තාත්තා ගෙදර ඉන්න කොට මං තාත්තා එක්ක නිදියන්නේ. නංගී අම්මා ළඟ. ඒත් තාත්තා මාස ගණන් රැකියාවට වෙන ප්‍රදේශවල ගියාම පොඩි අයියා මාව අඬ ගහ ගන්නවා එයා ළඟට. එයා රෑට දත් මිටි කනවා. නින්දෙන් සැර පාරවල් මට වදිනවා. මං ආස නෑ එයා එක්ක නිදා ගන්න. ඒත් එයාට තියෙන බයට යනවා. මම රෑ මැදියමේ කොට්ටෙයි රෙද්දයි අරගෙන අද චූටි දුව කරනවා වගේ අම්මගෙයි නංගිගෙයි ඇඳ පල්ලෙහා දෙපා තියෙන හරියෙන් ඇල වෙනවා.
         මට අවුරුදු දහයක් විතර වෙනකොට මම තනියෙන් නිදා ගන්න පුරුදු වුණා.තාත්තාත් කිව්වා ඒ විදිය හොඳයි කියලා. ඉන්පස්සේ නේවාසිකාගාරයේ ජීවිතයත් එක්ක කොහොමටත් තනි ඇඳක තනියෙන් නිදා ගන්න මම පුරුදු වුණා. ඒත් හැන්ඳෑවකට, වහින වෙලාවකට, මට අසනීප වුණාම අම්මා ළඟට වෙලා නිදා ගන්න කලාතුරකින් මට ඉඩ ලැබුණා. ඒක අමුතුම සනීපයක්. අම්මා ළඟ එන අමුතු සුවඳ මට හැමදාම මතකයි.
       ඊට පස්සේ මම විවාහ වෙලා විදේශ ගත වුණා. පවුලට දරුවෝ එකතු වුණා. මට අම්මා එක්ක නිදා ගන්න ඉඩක් ලැබුණේම නෑ. අපේ අම්මා කොහොමටත් ගොඩක් බදාගෙන ඉඹ ගන්න කෙනෙක් නෙවෙයි. අම්මා හැඟීම් පිටකළේ හරිම බයෙන්, හරිම අඩුවෙන්.තව කෙනෙක්ට කොහොම දැනෙයිද කියන එක ගැන හරියට හිතුවා. ඒ අම්මගේ හැටි. මම විවාහ වෙලා ගෙදරින් යද්දිත් තාත්තා මගේ ඔලුව ඉඹලා ගොඩක් වෙලා ඇඬුවා. ඒත් අම්මා මගේ මූණ ඉඹලා ලේන්සුවෙන් හෙමින් සැරේ ගලපු කඳුලක් පිහිදානවා මම දැක්කා.ඒත් අම්මගේ ආදරේ විශ්වයටත් වඩා ලොකු බව මම හොඳින්ම දැනන් හිටියා.
           මගේ වැඩිමහල් සහෝදරයා හදිසියේ අපෙන් සමු ගත්ත වෙලාවේ අම්මා ළඟින් ඉන්න ඕනෙම නිසා මම විතරක් ලංකාවට ගියා. පාසැලේ වාර අවසාන පරීක්ෂණ නිසාත් හදිසියේ නිවාඩු අනුමත කර ගන්න බැරි වුණ නිසාත් මගේ සැමියා දරුවන් එක්ක රැඳුනා. අයියට අවසන් ගෞරව දැක්වීමටත් වඩා මට ඕනෙ වුණේ මේ අතිශය දුක්බර අවස්ථාවේ අම්මට හයියක් වෙන්න. කුළුදුලේම දැක්ක පුතා බොහොම අඩු වයසින් වියෝ වීම අම්මා කෙනෙක් දරා ගන්නේ කොහොමද? මං අම්මා ළඟ හිටපු එකට ඈ ගොඩක් සතුටු වුණා. අවසන් කටයුතු වලින් පස්සේ හත් දවසේ දානේ වැඩ කටයුතු වෙනකම් මම හිටපු නිසා අවුරුදු ගණනාවකට පස්සේ මට ආයෙත් අම්මා එක්ක නිදා ගන්න ලැබුණා.
          පවුලේ තුන් දෙනෙක්ගේ අහිමි වීමත්, ජීවිත ගමනේ නොනැවතී ගලපු බාධක කම්කටොළුත් එක්ක අම්මා වියපත් වෙලා. මුළු කොණ්ඩෙ නැතත් ගොඩක් කෙස් සුදු පාට වෙලා. හම රැළි වැටිලා. දරු පවුල රකින්න අම්මා නොකරපු දෙයක් නැති තරම්. ඉස්සර හයිහත්තියට තිබුණු අත පය කෙට්ටු වෙලා. දරා ගන්න අමාරු මේ වේදනාවයි, දවස් ගානක් නිදි වරපු වෙහෙසයි, වියපත් කමයි නිසා අම්මා හොඳටම නිදි.හුස්ම ගන්නෙත් හරිම හෙමින්. මං අම්මව බදා ගත්තා. ඇඟ පතින් මම ගොඩක් විශාල වෙලා. අම්මා චූටි වෙලා වගේ මට දැනුණේ. හැබැයි ඒ සුවඳ ඒ විදියමයි. එදා මුළු රෑම මට නින්ද ගියේ නෑ. කඳුළු වලින් මගේ කොට්ටෙම තෙමිලා. මට පුංචි කාලේ එක දිගට මතක් වුණා. දරුවෙක්ට අම්මෙක් කියන්නේ මොන තරම් හයියක්ද? පොඩි වුණත්, වැඩිහිටි වුණත්, විවාහක වුණත්, මොන තරාතිරමක හිටියත්, අම්මා කොයි තරම් වියපත් වුණත්, ලෝකේ කොයි කෙළවරක හිටියත් "අම්මේ" කිව්වම හිතට දැනෙන සනීපය නිමාවක් නෑ. අම්මා නැඟිටිනකම් මම නොසැලී හිටියා. තාත්තා රැකියාවට යන කාලේ, අපි පස් දෙනා පාසල් යන කාලේ, ඉන්පසු රැකියාවලට යන කාලේ මහ රෑ වෙනකම් නැගිටලා ඉඳලා අම්මා හැමදාම හැමෝටම කළියෙන් පාන්දර නැඟිට්ටා. නිදා ගත්තේ පැය කීපයයි. ඉතින් මට අම්මව ඇහැරවන්න දුක හිතුනා.
              මම මේ මතක සටහන තිබ්බේ ඔබටත් යමක් එකතු කරන්නයි. මේ වන විටත් ඔබ අම්මා කෙනෙක්ගේ සෙනෙහස අහිමි කෙනෙක් නම් ඔබ මට සමාවෙන්න. ඒත් ඔබේ අම්මා තවමත් ඔබ සමඟ ඉන්නවා නම් ඈට ආදරේ කරන්න පසුබට වෙන්න එපා. ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න. ඉඩ ලැබෙන විදිහට පොඩි සංවාදයක යෙදෙන්න. පුංචි කාලේ ගැන, අතීතය ගැන කතා කරන්න ඔවුනුත් ආසයි. හැමදේම තිබුණත් පොඩි දෙයක් හරි ඉඳලා හිටලා අරන් දෙන්න. එයාලගේ ජීවිතේ හොඳම කාලේ හැම සතයක්ම වියදම් කළේ අපේ ඕනෑ එපාකම් වෙනුවෙන්. ඒ කාලේ අද වගේ පොඩි පොඩි ලස්සන දේවල් වැඩියේ තිබුණේ නැහැනේ. ඉතින් වයසට ගියා වුණත් පුංචි දේකට එයාලත් ආසයි. වෙනස් දෙයක් කන්න බොන්න හදලා දෙන්න. අරන් දෙන්න. ඉස්සර බිත්තර පලුවක්, බැදපු මාළු කෑල්ලක්, ඇපල් කෑල්ලක් එයාලා නොකා අපටයි දුන්නේ. විශේෂයෙන් ධර්මයේ හැසිරෙන්න උදව් කරන්න. කොයි ආගමේ කෙනෙක් වුණත් වන්දනා ගමනක් යන්න, පන්සලට පල්ලියට යන්න ඉඩ හදලා දෙන්න. ගෙදර ඉඳන්ම හරි බණක්, පූජාවක් අහන්න අවස්ථාව ලබා දෙන්න. මේ හැම දෙයක්ම හරිම ආදරයෙන් කරන දරුවන් මම දන්නවා. ඒ වගේම අම්මා තාත්තා ට හරිම දුක් දෙන, නොසළකා හරින, ආත්මාර්ථකාමී දරුවන් ගැනත් මම දන්නවා.
          අදටත් අම්මා එක්ක දුරකථනයෙන් කතා කරන කොට අම්මගේ කටහඬේ වෙනස මටත් මගේ පුංචි වෙනසක් අම්මටත් දැනෙනවා. මං හඳුනන ඉතාලි ජාතික වයසක කාන්තාවක් ඉන්නවා. ඇගේ දරුවන් දෙන්නාම ඉන්නේ ලෝකේ පැති දෙකක.මගේ අම්මා ගැන කතා කරද්දී මම ඇගෙන් ඇහුවා ඔබට ඒක දැනෙන්නේ කොහොමද කියලා? එවිට ඈ මට කිව්වා ඔවුන් දිනපතාම මට පරිඝණකයෙන් කතා කරනවා. මගේ දුව වැඩට ගිහින් ඇවිත් රෑට උයන්නේ මාත් එක්ක කතා කර කර. පුතා දවල් කෑම එක ගන්නේ මාත් එක්ක කතා කරමින්. ඔවුන්ගේ හැම විස්තරයක්ම මම දන්නවා. මගේ විස්තරත් එහෙමයි. "වැදගත් වන්නේ ඔබ ඔබේ අම්මා තාත්තා ට සැතපුම් කීයක් ඈතින් ඉන්නවද කියන එක නෙවෙයි. ඔබ ඔවුන්ගේ හදවතේ කොයි තරම් ළඟින් ඉන්නවද කියන එකයි." තමන්ගේ ගෙදර තමන් ළඟ අම්මලා ඉන්න වාසනාව තියෙන දරුවන්ට හිතන්න දහසක් දේ ඇගේ කතාවේ තිබෙනවාද යන්න සිතා බැලීම ඔබට බාරයි. 

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි