Posts

Showing posts from December, 2024

සුවඳ නැති දම් පාට මල්....

Image
  සුවඳ නැති  දම් පාට මල්.... ගමෙන් නගරෙට ඇදෙන ගුරු පාර අද්දරම හිනැහුණූ අවාරෙත් අඩුවක් නැතිව මල් පිරී සෙවණම සැදූ සහසක් පෙම්වතුන් මුදු හාදු  හැඩ කෙරූ දම් පාට මල් වියන තනිවෙලා තනි මැකූ... කිසිම සුවඳක් නැති මලක් දිනක් පවසද්දී ළඳක් ඒත් ලස්සන පාට එසේ කිව් පෙම්වතෙක් මල්  සුවඳ විය යුතුමද දිග හැරුණු කතාවක් ඇරඹුමක් විය එදා නෝක්කඩු දබරයක්... මග තොටේ ඇදෙද්දී තුරුළු වී තවෙකෙකුට මතකයක් වත් නැතිව නොදුටුව  විලාසෙට හිත දුකක් නොපෙන්වා පෙර දාක  වගේම සුවද නැති දම් පාට මල් හිනැහුනා පුරුද්දට...                              ශිරන්ති රන්පනාදෙණිය .

මන්ද්‍රි දේවී සිහිසුන්ව වැටුණාය...

මන්ද්‍රි දේවී සිහිසුන්ව වැටුණාය... ඉරටත් කළින් ඇදී වන ලැහැබට පලවැල නෙලන්නට මන්ද්‍රී උදෙන් ඇඹුල් පේර,දං,කොහිකිරිල්ල ඇඹුල් ඇඹිලියද සමග හීන් නාරං ගමේ ගෙදරකින් සොච්චමට ගත් පිනි ජම්බුද පොකුරු පිටින් තැන තැන දිරූ පන් වට්ටියට අහුරා ගියාය  ඉරිදා පොළට ඈ ලැසි ගමනින් කෑ මොර දීලාම වේලෙන උගුර බුලත් විටි කෙළ වලින් තෙමන් දුක්බර දෙනෙත් වෙන්දේසියේ ලා කාසි කොට ගති  හවස් වන්ටත් කළින් හිරි වැටුණු දෙපා ගාටා සිල්ලර අරන් ගෙදර එද්දී  නාලාගිරි ගොරවයි මතින් ජිනා  දියණී  ගොසින්   දුරක රහසින් කොහෙන්දෝ පැමිණි ජූජකද  සමගින් එබී බැලුවා ම පිළිකන්න  දෙස හෙමින් ජාලිය දොඩයි  හීන ලෝකෙක ඉදන් සිහිසුන්ව වැටුණාය මන්ද්‍රී සැණින් සංසාරේ තව දුරයි හිතුණාම බියෙන් ....                        ශිරන්‍ති රන්පනාදෙණිය